Water News

අනුරපුර වැව් 3000 වියැලේ

July 21, 2017 at 11.55 p. m.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට මාස ගණනාවක් තිස්සේ බලපාන නියං තත්ත්වය හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක පදිංචි ජනතාව දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ලබාගත් මහවැව් මධ්‍යම සහ කුඩා ප‍්‍රමාණයේ  වැව් 3000ක ජලය සම්පුර්ණයෙන්ම සිඳී යාම නිසා දැඩි ජල අර්බුදයකට මුහුණ පා සිටින බව පළාත් වාරිමාර්ගදෙපාර්තුමේන්තුව අනාවරණය කරයි.

දිස්ත‍්‍රික්කයේ පිහිටි වැව් 3226න් වැව් 3000ක ජලය මුළුමනින්ම වියළි කාලගුණය සමඟ සිදිගොස් ඇති අතර මධ්‍යම රජයෙන් පාලනය වන වැව් 112න් වැව් 85 ක පමණ ප‍්‍රමාණයක් සිදී ගොස් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ජලය ඉතිරි වැව් 226 ද ඇති ජල මට්ටම සියයට 90 -97ක ප‍්‍රමාණය දක්වා පහල බැස තිබෙන බව පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

පවතින නියගය සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ගම්මාන සිය ගණනක ජනතාවට එදිනෙදා අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකිවී තිබෙන අතර නියගයෙන් තිරප්පනය කහටගස්දිගිලිය, නොච්චියාගම විල්පත්තුවට මායිම් ප්‍රදේශය හොරොව්පොතාන මැදවච්චිය තන්තිරිමලය එප්පාවල අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත කැබිතිගොල්ලැව පදවිය ප‍්‍රදේශවල ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

වර්ෂා ජලය හා වැව් ජලය නොමැති වීමෙන් ප්‍රදේශයේ ලක්ෂ තුනකට වැඩි පිරිසක් දැඩි ආහාර හිඟයකටද මුහුණ දී සිටින බවද වාර්තා වෙයි. ජනතාව මෙම ජල අර්බුදයට මුහුණ දෙද්දී වන අලින් ජලය සොයා ගම්වැදීම නිසා එක් රැස්කර ගබඩාකරගත් වී ධාන්‍ය ඇතුළු සියළු දෑ විනාශකර ආහාරයට ගන්නා බව මැදවච්චිය සංගිලිකනදරාවේ වැසියෝ පවසති.

දරුණු  ජල හිගයක් තියෙනවා. සංගිලිකනදරාව අවට පිහිටි සියළුම වැව් හිදිලා වන අලි රෑන් පිටින් ගම්වදිනවා වතුර හා ආහාර සොයාගෙන.අපේ ගමේ කොස් ගහක් තියෙනවා.ගමේ පවුල් 20 කට 30කට මාසයක් විතර කන්න පුළුවන් තරමේ ලොකු කොස් ගෙඩි 75 ක් විතර ඒකේ තිබ්බා අලි රංචුවක් ඇවිත් එකරෑට මුළු ගහම හොලවලා ගෙඩි 70ක් විතර කාලා තිබ්බා.පොල්ගස් පයින් ගහලා මුලින්ම උදුරලා තිබ්බා.මිනිසුන්ට විතරක් නෙමෙයි සතුන්ටත් මේ නියගය බලපාලා.කිරි එළදෙනකගෙන් එළුවෙක්ගෙන් දොවා ගන්න කිරි ටිකක්වත් නෑ ඒ සතුනුත් හාමත්වෙලා යනුවෙන් ඔවුන් පැවසූහ.

පරිභෝගිකයන් ලක්ෂය ඉක්මවු පිරිසකට පානිය ජලය සපයන අනුරාධපුර නුවර වැවෙහි ජලමට්ටම සියයට 85 ක් පමණ පහල බැස ඇති අතර පානීය ජලය සැපයිම තව දින20කට පමණක් සිමාවිය හැකිබව ජලසම්පාදන හා ජල අපවාහන මණ්ඩලය අනතුරු ඇගවුවේය.

ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජංගනය මහා කනදරාව මහවිලච්චිය යන ජලාශයන්ගේද ජල මට්ටම සීග්‍රයෙන් පහල බසිමින් තිබේ.මල් අතුඔය සිදියාම නිසා ඉන් ප්‍ර යෝජන ලැබූ පිරිස්ද දැඩි අපහසුතාවයට පත්වී සිටිති.


ගලේවෙලට උග්‍ර ජල හිඟයක්

 : බොන්න වතුර නැති වෙයි

July 02, 2017 at 2.30 p. m.


ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක විශාල පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති .දේවහුව බබරගස්වැව .මොරගොල්ල ,කිනමිටියාය .ආදී කෘෂිකාර්මික ප්‍රදේශ කීපයක මෙම ජල හිඟය පවතී.

ප්‍රදේශවාසීන් පැවසුවේ ළිංවල ජලය සිඳි ඇති බවත් ළිං කිහිපයක පමණක් පතුලේ ජලය ස්වල්පයක් ඇති බවත් ය.පොදු නල ළිං අබලන්වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති .

වැව් සිදීයාම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව කුඹුරු පුරන් වී ඇතැයි ද කියැවේ.ප්‍රදේශයේ එකම පානීය ජලසම්පත බව කියන පානිය ජල ව්‍යාපෘතිය අක්‍රීයව ඇත.

එමෙන්ම සිය ගොවිතැන් කටයුතු අඩපණ වීමෙන් ගොවින්  හා කුලී වැඩ වලින් ජිවත්වන පවුල්වල සාමාජිකයෝ ආහාර අර්බුදයකටද මුහුණපා සිටිති.මෙතෙක් කිසිදු බලධාරියකු මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බව ඔවුහු කියති .



කාංචන කුමාර ආරියදාස - Lankadeepa



Comments